නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වූ භාණ්ඩ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් ආලංකුඩාව මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යාත්‍රාව අධික සුළං සහ සැඩ පහරට හසුව පෙරළී මුහුදේ පා වෙමින් තිබියදී ආලංකුඩාව නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන කල්පිටිය විජය නාවික හමුදා කඳවුර වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී මිලියන 177ක් වටිනා මත් පෙති තුන් ලක්ෂ පනස් හතර දාහක්, උර පහක අසුරන ලද බීඩි කොළ කිලෝ 177ක් සහ තවමත් වටිනාකම තක්සේරු නොකළ ඖෂධ වර්ග (පෙති, ආලේපන, එන්නත් බෝතල් 118ක් සහ එන්නත් ටියුබ් 1412ක්) සොයාගෙන තිබේ. යාත්‍රාවේ එන්ජිම ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, යාත්‍රාවේ සිටි සැකකරුවන් එම අවස්ථාවේදී පළා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දීමට නියමිත අතර, පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
















