මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සහ නියමිත වේලාවට ලබා දීමේ අරමුණින්, පොහොර ආනයනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කාලසටහනකට අනුව සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහ පොහොර සමාගම් නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය ද සමාලෝචනය කරන ලදී.
පොහොර ආනයනය සහ බෙදා හැරීම සඳහා පොහොර සමාගම්වල ඇති සූදානම විමසා බැලූ ජනාධිපති ලේකම්වරයා, ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළේය. සැප්තැම්බර් මස මුලදී මහ කන්නය ආරම්භ වන විට ගොවීන් වෙත නිසි පරිදි පොහොර බෙදා හැරීමේ අවශ්‍යතාව සහ ලෝක වෙළෙඳපොළේ පොහොර මිලෙහි සිදුවන උච්චාවචනයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් පොහොර ආනයනය කිරීමේ විධිමත් සැලැස්මක් සකස් කිරීමටත්, ජූලි මස මුල් භාගයේදී එහි ප්‍රගතිය නැවත විමසා බැලීමටත් සියලු පාර්ශ්ව එකඟතාව පළ කළහ. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජානකී අමරතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික පොහොර සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















