ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වී සිටින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජපානයේ සුප්‍රකට නිපෝන් පදනමේ (Nippon Foundation) සභාපති යෝහෙයි සසකාවා මහතා (Yohei Sasakawa) හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම නිල හමුවේදී නිපෝන් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කරනු ලබන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ සුබසාධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කර තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ආබාධ සහිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම මුල් කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේම දැඩි අවධානය යොමු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කලාපයේ ප්‍රමුඛ රටවල ක්‍රියාත්මක වන උසස් සෞඛ්‍ය සේවාවන් මෙන්ම නවීන වෛද්‍ය ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි යොදාගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගත්තේය.














