ගෝලීය පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන්, පිළිකා රෝගීන් සඳහා වන පුනරුත්ථාපන සේවා ව්‍යාප්ත කිරීම සහ රෝග නිවාරණය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව පිළිකා රෝගීන් 35,000ක් පමණ අලුතින් හඳුනාගනු ලබන අතර ඉන් 20,000ක් පිරිමින් වන අතර 15,000ක් කාන්තාවන් වේ. දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 100ක් පමණ හඳුනාගන්නා අතර ඉන් 40ක් පමණ මිය යන බැවින් රෝගය මුල් අවස්ථාවේ හඳුනාගැනීම අතිශය වැදගත් වේ. පිරිමින් අතර මුඛ පිළිකා, බඩවැල්, පෙනහළු සහ ආහාර නාලය ආශ්‍රිත පිළිකා බහුල වන අතර කාන්තාවන් අතර පියයුරු පිළිකා, තයිරොයිඩ්, ගර්භාෂය සහ බඩවැල් ආශ්‍රිත පිළිකා බහුලව වාර්තා වන බව එහිදී අනාවරණය විය.
හිරුගේ අහිතකර පාරජම්බුල (UV) කිරණ නිසා මෙලනෝමා නොවන සමේ පිළිකා ඇතිවිය හැකි බැවින්, UV දර්ශකය 3ට වඩා වැඩි අවස්ථාවලදී සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය තුළ හිරු එළියෙන් ආවරණය වීම, සෙවණෙහි සිටීම සහ SPF 30 හෝ ඊට වැඩි සන්ස්ක්‍රීන් භාවිතය විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි. කෘතිමව සම පැහැපත් කරන ස්ටෙරොයිඩ් අඩංගු ආලේපන භාවිතයෙන් සමේ ස්වභාවික ආරක්ෂාව අඩුවී පිළිකා අවදානම වැඩි විය හැකි බැවින් එවැනි දෑ භාවිතයෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.
පිළිකා රෝගීන්ට රෝගය හෝ ප්‍රතිකාර (ශල්‍යකර්ම, රසායනික හෝ විකිරණ ප්‍රතිකාර) හේතුවෙන් ඇතිවන කායික හා මානසික ගැටලු සඳහා පුනරුත්ථාපන සේවා අත්‍යවශ්‍ය වේ. ජාතික පිළිකා ආයතනය විසින් මේ වන විටත් විශේෂ පුනරුත්ථාපන සායන ආරම්භ කර ඇති අතර, එය දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මොළය ආශ්‍රිත පිළිකා නිසා ඇතිවන කථනයේ ගැටලු සහ ශල්‍යකර්ම මඟින් අත් පා අහිමි වන රෝගීන් සඳහා කෘතිම පාද ලබා දීම වැනි සේවා බහුඅංශීය වෛද්‍ය කණ්ඩායමක් හරහා සිදු කෙරේ. ව්‍යාජ වෛද්‍යවරුන් හෝ විද්‍යාත්මක නොවන ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීමෙන් රෝගය උග්‍ර විය හැකි බැවින්, නිවැරදි විද්‍යාත්මක ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය වෙත යොමු වීමට මහජනයා උනන්දු විය යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.














