හෙට්ටිපොළ – පඬුවස්නුවර මාර්ගයේදී අද (මැයි 02) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙට්ටිපොළ පොලිසිය පවසයි.
නිකවැරටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක්, ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් පසු පාලනයකින් තොරව ගොස් අසල පිහිටි වෙළෙඳසලක් තුළට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
අනතුරින් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නොමැති අතර, තුවාල ලැබූ සෙසු පුද්ගලයින් කඩිනමින් හෙට්ටිපොළ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














