මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඉන් අනතුරුව අනෙකුත් බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂි රැස් කර ඒවා ඇගයීමට ලක් කරමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ මෙන්ම තුවාල වීමට හේතු වූ තත්ත්වයන් මෙහිදී ප්‍රධාන වශයෙන් විමර්ශනයට ලක් කෙරෙන බවයි. මීට අමතරව, පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීමට ගිය මානව හිමිකම් නිලධාරීන්ට එහි ඇතුළු වීම ප්‍රතික්ෂේප කිරීම සහ මීගමුවෙන් මාරු කළ රැඳවියන්ට වධහිංසා පමුණුවන බවට ලැබෙන පැමිණිලි ගැන ද විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ගැටුමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ සිදු කෙරුණු අතර, මියගිය නිලධාරීන් 08 දෙනා වෙනුවෙන් මරණින් පසු උසස්වීම් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ වන්දි මුදල් ලබා දීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 24 දෙනෙකුගේ මුද්‍රා තැබූ මරණ පරීක්ෂණ වාර්තා ඥාතීන් වෙත භාරදෙන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
















