ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනය (IDH) ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබේ. මෙම ගෞරවය හිමි වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල වන්නේ ද මෙයයි.
රෝහලේ පරිපාලන සහ සායනික කණ්ඩායම්වල වසර ගණනාවක අඛණ්ඩ කැපවීමක ප්‍රතිඵලයක් ලෙස ලැබුණු මෙම ජාත්‍යන්තර ඇගයීම, ඉදිරි සිව් වසරක කාලයක් සඳහා වලංගු වේ. මීට පෙර ශ්‍රී ලාංකික සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඩෙංගු ප්‍රතිකාර සම්බන්ධ වැඩිදුර පුහුණුව සඳහා විදේශ රටවල් වෙත යොමු වුවද, මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ අනෙකුත් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳ පර්යේෂණ හා පුහුණුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවේ.
මෙම මධ්‍යස්ථානය හරහා දැනටමත් බංගලාදේශය, නේපාලය සහ භූතානය යන රටවල සෞඛ්‍ය නිලධාරීන්ට ඩෙංගු කළමනාකරණය පිළිබඳ න්‍යායික සහ සායනික දැනුම ලබා දී ඇත. ඉදිරි මාස දෙක ඇතුළත මාලදිවයින සහ නේපාලයේ සෞඛ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට ද රෝහල සැලසුම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම මධ්‍යස්ථානය සඳහා වාර්ෂික ප්‍රගතිය මත පදනම් වූ ඉලක්ක කිහිපයක් ලබා දී ඇති අතර, ඒවා සාර්ථකව සපුරාලීමෙන් ඊළඟ සිව් වසර සඳහා ද මෙම සහයෝගිතා මධ්‍යස්ථානය ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
මීට අමතරව, ඉබෝලා ඇතුළු දරුණු බෝවන රෝග හඳුනා ගැනීම සඳහා අංගොඩ රෝහල තුළ නවීන රසායනාගාර ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බවත්, එය මේ වසරේම රෝගී සේවා සඳහා එක් කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.බී. සන්දනායක මහතා ප්‍රකාශ කළේය.
















