ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකු සමූහය (WBG) සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) යන ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනවල ප්‍රධානීන් මැදපෙරදිග පවතින යුද ගැටුම්වල ගෝලීය බලපෑම් පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම යුද තත්ත්වය හේතුවෙන් ලොව පුරා බලශක්ති සැපයුම, ආහාර සුරක්ෂිතතාව සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි මෙන්ම අසමාන බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.
විශේෂයෙන්ම ඉන්ධන සහ පොහොර මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, ආනයන මත වැඩි වශයෙන් යැපෙන සහ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි රටවල් මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් ද දැඩි පීඩනයකට හා අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින බව මෙම නිවේදනයේ සඳහන් වේ. මේ දිනවල බොහෝ රටවල වගා කටයුතු ආරම්භ වන සමය බැවින් පොහොර මිල ඉහළ යාම වඩාත් බරපතල ගැටලුවක් වී ඇත. එමෙන්ම, ප්‍රධානතම නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල වීම හේතුවෙන් ගෝලීය තෙල් සංචිත (Global Oil Inventories) ඉතා වේගයෙන් පහළ යමින් පවතින බව ද එහි දැක්වේ.
උතුරු අර්ධගෝලයේ ගිම්හාන සමය එළඹීමත් සමඟ ඉන්ධන ඉල්ලුම උපරිම වීමට ප්‍රථම මෙම නැව් ගමනාගමන ප්‍රවාහයන් සාමාන්‍ය තත්ත්වයට පත් නොවුවහොත්, ගෝලීය ඉන්ධන සුරක්ෂිතතාවට, වෙළෙඳපොළ ස්ථාවරත්වයට මෙන්ම ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවට ද බරපතල අවදානමක් මතුවිය හැකි බවට මෙම ආයතන අනතුරු අඟවයි. මේ හේතුවෙන් පීඩාවට පත් රටවලට සහය වීමටත්, බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ක්‍රියාමාර්ග හරහා ගෝලීය ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමටත් ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන බව එම ආයතන ප්‍රධානීන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
