මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී නොසිට, නීතිවිරෝධී අයුරින් මුදල් ලබාදී රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ජාවාරමක් හලාාවත පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
හලාාවත බණ්ඩරවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම වංචාව හෙළි වී ඇත. කොළඹ සිට හලාාවත දක්වා ධාවනය වූ කුඩා ලොරි රථයක් පාපැදියක ගැටී සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු හලාාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ. ලොරි රථයේ රියැදුරුට නින්ද යාම අනතුරට හේතුවී ඇති අතර, ලොරි රථය පැදවූ 19 හැවිරිදි නුගේගොඩ පදිංචි තරුණයාගේ බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එය නීතිවිරෝධී ලෙස ලබාගත් එකක් බව අනාවරණය වී ඇත.
ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වීම නිසා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාව මත, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ යැයි පවසා ඇති පුද්ගලයෙකුට රුපියල් 35,000ක මුදලක් (රුපියල් 10,000ක් සහ 25,000ක් ලෙස අවස්ථා දෙකකදී) ලබාදී මෙම බලපත්‍රය ලබාගෙන ඇති බව සැකකරු පවසා තිබේ. හලාාවත පොලිසියේ රථවාහන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














