ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්රී ලංකාවට මත්ද්රව්ය එවීමට සැලසුම් කළ බවට සැක කෙරෙන තමිල්නාඩුවේ තමිළග වෙට්ට්රි කලගම් (TVK) පක්ෂයේ ක්රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්ය වාර්තා කරන පරිදි, සැකකරුවන් සතුව තිබී මෙටම්ෆෙටමින් (Methamphetamine) නමැති මත්ද්රව්ය කිලෝග්රෑම් 100ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර TVK පක්ෂයේ නාගපට්ටිනම් දිස්ත්රික් විධායක කමිටු සාමාජිකයෙකු වන 42 හැවිරිදි එන්. භූපාලන් ද සිටින බව සඳහන් වේ.
නාගපට්ටිනම් ප්රදේශයේ සිට ශ්රී ලංකාවට මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලැබුණු රහසිගත තොරතුරක් මත ආරක්ෂක නිලධාරීන් මෙම වැටලීම් සිදුකර තිබේ. පළමුව එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කර ඇති අතර, එහිදී ලද තොරතුරු මත භූපාලන්ගේ නිවසද සෝදිසි කර ඇත.
චෙන්නායි සිට රැගෙන ආ මත්ද්රව්ය තොගය තමිල්නාඩුවේ විවිධ ප්රදේශවල බෙදාහැරීම සඳහා රඳවාගෙන සිටි බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්ය වාර්තා කරයි. භූපාලන්ගේ බිරිඳ ශ්රී ලාංකිකයෙකු වීම මෙම ජාවාරමට උපකාරී වී තිබේද යන්න පිළිබඳවද නිලධාරීන් සැක පළ කර ඇති බව සඳහන් වේ.
සෝදිසි කිරීම් සහ ප්රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන සඳහා නාගපට්ටිනම් රේගු කාර්යාලය වෙත භාරදී තිබේ.
මේ අතර, මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා සහ පක්ෂ ප්රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් භූපාලන් පක්ෂයේ මූලික සාමාජිකත්වයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත් කළ බව TVK නාගපට්ටිනම් දිස්ත්රික් ලේකම් එම්. සුගුමරන් ප්රකාශ කර ඇති බවද ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
















