ඉන්දියාවේ ඔඩිෂා ප්රාන්තයේ වනාන්තරයක් ආසන්නයේ අසරණව සිටි ඔරංඔටන් පැටවුන් පස්දෙනෙකු හමුවීමත් සමඟ නීති විරෝධී වනජීවී ජාවාරමක් පිළිබඳ අවධානය යොමුව තිබේ.
තැඹිලි පැහැයට හුරු රතු ලොම් සහ දිගු අත්පා සහිත මෙම පැටවුන් දැකබලා ගැනීමට ප්රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් එක්ව ඇති අතර, පසුව ඔවුන් මේ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ.
එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී හමුවූ සතුන් ඔරංඔටන් පැටවුන් බව හඳුනාගෙන ඇති බව වාර්තාවේ. බෝර්නියෝ සහ සුමාත්රා දූපත්වල වනාන්තරවලට ආවේණික මෙම සතුන් ඉන්දියාවේ ඔඩිෂා ප්රාන්තයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳවද ප්රශ්න මතුව තිබේ.
වයස මාස 18ට අඩු මෙම පැටවුන් පස්දෙනා මව්වරුන්ගෙන් වෙන්කර අතහැර දමා ගොස් ඇති බව සඳහන් වේ.
වනජීවී සංරක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම ඩොලර් බිලියන 20ක පමණ වටිනාකමක් ඇති බව කියන ජාත්යන්තර නීති විරෝධී වනජීවී වෙළෙඳාමේ බරපතළකම පෙන්වා දෙන සිදුවීමක් බවයි.

















