මාදුරුඔය ජාතික උද්යානයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ලෙස උද්යානයට ඇතුළු වී දඩයමේ යෙදුණු සැකකරුවන් පිරිසක් ඉත්තෑ මස්, මරා දැමූ මීමින්නෙක් සහ ගිනිඅවි සමඟ කන්දේගම බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දේගම බීට්ටු කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර ඩී.එම්. ඥාණතිස්ස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු 2ක් ද වනජීවී භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 08 වන දින දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර, නඩුව යළි නොවැම්බර් 13 වන දින කැඳවීමට නියමිතය.


















