වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමිනි.
ලිට්රෝ ගෑස් හිඟයක් සම්බන්ධයෙන් අනවශ්ය කලබලයක් ඇති කරගත යුතු නොමැති බව පැවසූ අමාත්යවරයා, මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන් කළේය. එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බැවින් සාමාන්ය පරිදි බෙදාහැරීම් සිදුකිරීමට හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.
මේ අතර, 2027 වර්ෂය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ද්රව පෙට්රෝලියම් ගෑස් (LPG) සැපයීමේ කොන්ත්රාත්තුව ප්රදානය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ජාත්යන්තර තරගකාරී ලංසු කැඳවීම යටතේ ලැබුණු ලංසු හතරක් ඇගයීමෙන් පසු, OQ Trading Limited සමාගම වෙත 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් සඳහා LPG මෙට්රික් ටොන් 420,000ක් (±20%) සැපයීමේ කොන්ත්රාත්තුව ප්රදානය කිරීමට නිර්දේශ කර ඇත. අවම වශයෙන් මෙට්රික් ටොන් 336,000ක සැපයුමක් සහතික කර ඇති අතර, රක්ෂණ හා ප්රවාහන වියදම් ඇතුළත් මිල ලෙස මෙට්රික් ටොන් එකකට අමෙරිකානු ඩොලර් 133.93ක අගයක් සඳහන් වේ. මෙය සවුදි අරම්කෝ කොන්ත්රාත් මිලට අමතරව අදාළ වන අගය බවද වාර්තාවේ දැක්වේ.
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ක්රියාත්මක කළ වැඩසටහනේදී අපේක්ෂා කළ සියලු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ බවද අමාත්යවරයා සඳහන් කළේය. ඒ පිළිබඳ සමාලෝචනයකින් පසු, ගෝලීය ආර්ථික තත්ත්වය සහ අදාළ ඉලක්ක සැලකිල්ලට ගනිමින් ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ තීරණ ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

















