පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් අන්වර්ථ නාම පහක් (05) භාවිතා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත්, එම නම් පිටුපස සිටින සැබෑ පුද්ගලයින් කවුරුන්ද යන්න නොබෝ දිනකින් රටටම හෙළිදරව් කරන බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
සිරස රූපවාහිනියේ පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙම අන්වර්ථ නාම අතරින් “සොනික්” යන නාමය පිළිබඳව මීට පෙර පාර්ලිමේන්තුවේදී පවා දැඩි ලෙස සාකච්ඡා වී ඇති බවයි. තවත් අන්වර්ථ නාම හතරක් පිළිබඳ තොරතුරු විමර්ශන කණ්ඩායම් සතුව පවතින බවත්, ඒවා විමර්ශන කටයුතුවලට අදාළ බැවින් වැඩිදුර තොරතුරු මේ මොහොතේ අනාවරණය කළ නොහැකි බවත් ඔහු පැවසීය.
ජාතික ජන බලවේගය (NPP) මැතිවරණ සමයේ ලබාදුන් ප්‍රධාන දේශපාලන පොරොන්දුව පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහ ඊට සම්බන්ධ පිරිස් සොයා ගැනීමේ විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අතීතයේ සිදු නොවූ ආකාරයේ ස්වාධීන සහ සාධාරණ විමර්ශනයක් සිදු කර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව බව ඔහු අවධාරණය කළේය.
විපක්ෂය විසින් මෙම විමර්ශන ක්‍රියාවලිය අඩපණ කිරීමට විවිධ බාධා එල්ල කළද, ස්වාධීන ආයතන හරහා සිදු කෙරෙන මෙම පරීක්ෂණ කිසිදු ලෙසකින් නතර නොකරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, බුද්ධි වාර්තා සහ නව විමර්ශන තොරතුරු මත පදනම්ව මෙම ගමන ඉදිරියටම ගොස් අදාළ අන්වර්ථ නාමවලින් පෙනී සිටි සියලු පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන බවට වැඩිදුරටත් සහතික විය.
















