ඉන්දීය නාවික හමුදාවට අයත් ‘තීර්’ සහ ‘සුජාතා’ නෞකා දෙකත්, ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ නෞකාවත් පසුගියදා කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම නෞකා ත්රිත්වයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආධුනික නිලධාරීන් ශ්රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් රැසකට සහභාගි වී ඇත.
දිගුදුර පුහුණු මෙහෙයුම් වැඩසටහන යටතේ ගමන් කරන ඉන්දීය පුහුණු නාවික බලගණය සීෂෙල්ස් රාජ්යයේ වික්ටෝරියා වරායට සහ මාලදිවයිනේ මාලේ වරායටද ගොස් තිබේ. මෙම වැඩසටහනට ශ්රී ලංකා නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් පස්දෙනෙකුටද සහභාගි වීමට අවස්ථාව හිමිව ඇත.
කොළඹ වරායට පැමිණි නෞකා තුළදී ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට ඉන්දීය නෞකාවල ක්රියාත්මක පුහුණු මෙහෙයුම් නිරීක්ෂණය කිරීමටත්, වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලැබී තිබේ.
එමෙන්ම, දෙරටේ නාවික හමුදා එක්ව සංවිධානය කළ තූර්ය වාදක සංදර්ශනයක්ද ඊයේ සවස ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.
සුහද පුහුණු සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව මෙම නෞකා ත්රිත්වය අද කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.
















