කාබන් විමෝචනය අවම කිරීම සහ තිරසර බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම එක්ව නව සූර්ය බලශක්ති වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹදී නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික්, යුරෝපා සංගමයේ නම් කළ තානාපතිනි සිල්වියා හාර්ට්ලයිෆ් සහ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතිය යටතේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රවල කිලෝවොට්-පීක් 240ක පමණ ධාරිතාවයකින් යුත් සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කර තිබේ. එමඟින් වාර්ෂිකව කිලෝවොට් පැය 365,000ක පමණ විදුලියක් නිපදවීමටත්, වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 193කින් පමණ අඩු කිරීමටත් අපේක්ෂා කෙරේ.
සූර්ය බලශක්ති පද්ධතියට අමතරව බලශක්ති කාර්යක්ෂම සිසිලන, ආලෝකකරණ සහ ගොඩනැගිලි පද්ධති මෙන්ම සූර්ය ජල තාපන ක්‍රමද ක්‍රියාත්මක වේ. එම පියවර මඟින් වාර්ෂිකව තවත් කිලෝවොට් පැය 79,200ක පමණ විදුලියක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරයි.
එමෙන්ම, වැසි ජලය ලීටර් 10,000ක් ගබඩා කිරීමේ පහසුකම්, ප්ලග්-ඉන් දෙමුහුන් වාහන ඇතුළත් වාහන සමූහයක් සහ අපද්‍රව්‍ය වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය හා කොම්පෝස්ට් කිරීමේ වැඩසටහන් ඇතුළු පරිසර හිතකාමී ක්‍රියාමාර්ගද මෙම වැඩපිළිවෙළට ඇතුළත්ය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සඳහන් කර ඇත්තේ පිරිසිදු අනාගතයක් වෙනුවෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර පවතින සහයෝගීතාව මෙම වැඩසටහනෙන් පිළිබිඹු වන බවයි. යුරෝපා සංගමයේ නම් කළ තානාපතිනි සිල්වියා හාර්ට්ලයිෆ් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික ප්‍රකෘතිමත් වීම, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ දැරිය හැකි තිරසර බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුරෝපා සංගමය දක්වන සහායේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි.














