ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ආසන්නයේ සිදුවූ දරුණු දුම්රිය ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 84 දෙනෙකු තුවාල ලබා ඇති බව දුම්රිය බලධාරීහු අද (28) නිවේදනය කළහ. ජකර්තා නුවරට නුදුරු බෙකාසි (Bekasi) ප්‍රදේශයේදී මගී ප්‍රවාහන දුම්රියක් සහ දිගු දුර ධාවනය වන දුම්රියක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවිය. සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට අවසන් කර ඇති අතර තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
අනතුරින් වැඩිම හානියක් සිදුව ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ දුම්රිය මැදිරියට වන අතර මියගිය සියලුම දෙනා කාන්තාවන් බව මුදාගැනීමේ අංශ තහවුරු කළේය. පොඩි වී ගිය ලෝහ කොටස් අතර සිරවී සිටි පිරිස් මුදාගැනීම සඳහා විශේෂඥ කණ්ඩායම් යෙදවීමට සිදුවූ බව ඉන්දුනීසියානු සෝදිසි සහ මුදාගැනීමේ ඒජන්සියේ ප්‍රධානී මොහොමඩ් සයාෆි (Mohammad Syafii) මහතා ප්‍රකාශ කළේය. මගී දුම්රියක් කුලී රථයක ගැටීමෙන් පසු මෙම අනතුර හටගෙන ඇති බව මූලික වාර්තාවලින් හෙළි වී තිබේ. ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝ (Prabowo Subianto) මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.














