ලොව පුරා 2024 වසරේ වාර්තා වූ නව පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 12%ක් හෙවත් රෝගීන් මිලියන 2.3ක් ආසාදන හේතුවෙන් ඇති වූ ඒවා බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
The Lancet Oncology සඟරාවේ පළ කර ඇති මෙම අධ්‍යයනයට අනුව, පිළිකා ඇති කිරීමට සම්බන්ධ වන මෙම ආසාදන රැසක් එන්නත්කරණය, පරීක්ෂණ සහ ප්‍රතිකාර මඟින් වළක්වා ගැනීමට හෝ පාලනය කිරීමට හැකියාව පවතී.
ඒ අතරින් Helicobacter pylori (H. pylori) සහ මානව පැපිලෝමා වෛරසය (HPV) ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇති අතර, මෙම ආසාදන දෙක පමණක් 2024 වසරේදී පිළිකා රෝගීන් මිලියන 1.5කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ වී ඇති බව පර්යේෂකයන් පවසයි.
එමෙන්ම හෙපටයිටිස් B ආසාදනය පිළිකා රෝගීන් 360,000කට පමණද, Epstein-Barr වෛරසය 260,000කට පමණද, හෙපටයිටිස් C ආසාදනය 160,000කට පමණද සම්බන්ධ වී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී ඇත.
ආසාදන හේතුවෙන් ඇති වන පිළිකා බරින් 77%ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට අදාළ වන බවද පර්යේෂකයන් සඳහන් කර තිබේ.
HPV සහ හෙපටයිටිස් B සඳහා එන්නත්ද, H. pylori සහ හෙපටයිටිස් C සඳහා පරීක්ෂණ හා ප්‍රතිකාරද පවතින බැවින්, මෙම ආසාදන සම්බන්ධ පිළිකා රැසක් වළක්වා ගැනීමට හැකියාව ඇති බව විශේෂඥයන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පිළිකා ඇති කරන ආසාදනයක් පැවතීමෙන් අනිවාර්යයෙන්ම එම පුද්ගලයාට පිළිකාවක් ඇති වන බව අදහස් නොවන බවත්, ආසාදන බොහෝවිට පිළිකා අවදානම වැඩි කරන එක් සාධකයක් පමණක් බවත් විශේෂඥයන් අවධාරණය කර ඇත.
















