ඉඟිණියාගල, කලුගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව ඇළකට වැටීමෙන් අතුරුදන්ව සිටි ගුවන් හමුදා සැරයන්වරයෙකුගේ මළසිරුර ඊයේ (16) සොයාගත් බව ඉඟිණියාගල පොලිසිය වාර්තා කරයි.
යතුරුපැදිය පල්ලම දෙස සිට ඉඟිණියාගල දෙසට ධාවනය වෙමින් තිබියදී පල්ලම – පහලලන්ද මාර්ගයේදී ඇළකට පෙරළී ගොස් තිබේ. අනතුරින් පසු දියේ ගිලී අතුරුදන් වූ සැරයන්වරයා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.
මළසිරුර සොයාගන්නා අවස්ථාව වන විටත් කිඹුලන් විසින් සිරුරේ කොටස් කා දමා බරපතල හානි සිදුකර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළේය. මෙලෙස මියගොස් ඇත්තේ ඉඟිණියාගල පදිංචි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උහන කඳවුරේ සේවය කළ 40 හැවිරිදි අසංක සංජීව නමැති සැරයන්වරයෙකි.
මළසිරුර මේ වන විට අම්පාර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) සිදු කිරීමට නියමිතව තිබුණි.












