වටවල, වැලිඔය වත්ත ප්‍රදේශයේදී අද (17) අලුයම තියුණු ආයුධයකින් පහරදී 27 හැවිරිදි එක්දරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇයගේ සැමියා සහ අනියම් පෙම්වතා යැයි කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව විදේශගතව සිට මාස 3කට පෙර දිවයිනට පැමිණ ඇති අතර, මීට සති දෙකකට පෙර ඇය සිය දරුවා ද සමඟ වැලිඔය වත්තේ පිහිටි ඇයගේ මහගෙදරට පැමිණ ඇත. ඇය යළිත් ගලහා ප්‍රදේශයේ පිහිටි සැමියාගේ නිවසට නොපැමිණීම පිළිබඳව විමසීමට ඊයේ (16) සැමියා වැලිඔය වත්තට පැමිණ තිබේ. එහිදී ඇය එම වතුයායේම තරුණයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවට සැමියාට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින්බස් වීමක් හටගෙන ඇත.
පසුව ඊයේ රාත්‍රියේ නිදි යහනේ සිටියදී සැමියා විසින් ඇයට තියුණු ආයුධයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකාර සැමියා සහ අනියම් පෙම්වතා යැයි කියන පුද්ගලයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වටවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.












