දේශීය ආදායම් පනත් සංශෝධන විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ, යම් වෘත්තිකයෙකු කිසියම් ආයතනයකට බාහිරව සේවා සපයා (Independent Service Provider) මාසිකව රුපියල් ලක්ෂයකට (රු. 100,000) වඩා වැඩි දීමනාවක් ලබන්නේ නම්, එම මුදලින් මෙම 5%ක රැඳවුම් බද්ද අය කරගත යුතු බවයි. මෙය අලුතින්ම පනවන බද්දක් නොව, බදු කල්තියා අය කර ගැනීමේ (Advance Tax) විධිමත් ක්‍රමවේදයක් බවත්, එමඟින් ඉහළ ආදායම් ලබන සියලුම වෘත්තිකයන් බදු ක්‍රමය තුළට නිසි ලෙස ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
බදු දැල පුළුල් කිරීම සහ TIN සහතිකය
පසුගිය රජය සමයේ ලක්ෂ 8ක්ව පැවති සක්‍රීය බදු ලිොනු සංඛ්‍යාව මේ වන විට මිලියන 1.3ක් (ලක්ෂ 13ක්) දක්වා ඉහළ නැංවීමට වත්මන් පරිපාලනය සමත්ව ඇත. කෙසේ වෙතත්, මෙරට තුළ විවිධ ක්ෂේත්‍රවලින් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් මිලියන 2.3කට අධික ප්‍රමාණයක් සිටින බවත්, ඔවුන් සියලු දෙනා බදු දැලට හසු කර ගැනීම රජයේ මූලික ඉලක්කය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ වන විට පුද්ගලයන් මිලියන 1.3ක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) නිකුත් කර ඇති අතර, ඉදිරියේදී සිදු කරන සියලුම ප්‍රධාන ආර්ථික කටයුතු සඳහා මෙම TIN සහතිකය අනිවාර්ය කෙරේ. යම් ආයතනයක් අදාළ වෘත්තිකයන්ගෙන් මෙම රැඳවුම් බදු මුදල් කපා ගැනීමට අපොහොසත් වුවහොත්, එම ආයතනවලට එරෙහිව දැඩි දඬුවම් හා දඩ පැනවීමට නව නීති මඟින් ප්‍රතිපාදන සලසා ඇත.
සෘජු සහ වක්‍ර බදු අනුපාත වෙනස් කිරීම
රජයේ මූලික සහ දිගුකාලීන අරමුණ වන්නේ මෙතෙක් පැවති 80%ක් වූ වක්‍ර බදු (Indirect Taxes) සහ 20%ක් වූ සෘජු බදු (Direct Taxes) ප්‍රතිශතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. සෘජු බදු නිසි ලෙස එකතු කර ගැනීම හරහා රජයේ ආදායම ශක්තිමත් කර ගනිමින්, භාණ්ඩ හා සේවා මත පැනවෙන සහ සාමාන්‍ය ජනතාව මත සෘජුවම පැටවී ඇති වක්‍ර බදු බර (VAT වැනි) ඉදිරියේදී අඩු කර සහන සැලසීමට හැකි වනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේය. මීට අමතරව, මෙතෙක් නිසි ලෙස බදු නොගෙවා මඟහරිමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද (MSMEs) ක්‍රමිකව සහ සහනදායී ක්‍රමවේද ඔස්සේ මෙම බදු ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















