‘IOS සාගර්’ නමින් ඉන්දිය නාවික හමුදාවේ ‘මිත්‍රත්වයේ පාලම්’ ගොඩනැගීමේ අරමුණින් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS සුනයනා’ (INS Sunayna) නෞකාව පසුගිය මැයි 18 වැනි දින සිය සංචාරය නිමා කර දිවයිනෙන් පිටත්ව ගියේය. නෞකාව පිටත්ව යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ගෞරවනීය සමුදීමක් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ අණදෙන නිලධාරීවරයා බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික බලඇණි ආඥාපතිවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වීය. එසේම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියා ද නෞකාවේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් එහි කාර්ය මණ්ඩලය සමඟ අන්තර් ක්‍රියා කළේය.
සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ට ඉන්දීය නෞකාව නැරඹීමට අවස්ථාව හිමි වූ අතර, රටවල් 17ක නියෝජිතයින්ගෙන් සමන්විත නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව මිත්‍රශීලී වොලිබෝල් තරඟයක ද නිරත විය. තවද, ඔවුන් දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමට ද කාලය වෙන් කළහ.
මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ‘INS සුනයනා’ නෞකාව එක්ව නාවික අභ්‍යාසයක (PASSEX) නිරත විය. එමගින් දෙරටේ නාවික හමුදාවන් අතර සන්නිවේදන, නාවික සහ මෙහෙයුම් අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා අවස්ථාව සැලසිණි.














