ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන ඇති බව අද (12) අලුයම වාර්තා විය. නියමිත මාර්ගයෙන් බැහැරව අනවසරයෙන් ගමන් කිරීමට උත්සාහ කළ නෞකාවකට අනතුරු ඇඟවීමේ වෙඩි පහරක් එල්ල කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් IRGC නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, විදේශ බලවතුන්ගේ අනවසර මැදිහත්වීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. “පිටත පාර්ශ්වයන්ගේ මෙම නීති විරෝධී මැදිහත්වීම් නිසා ඇති වූ අවිනිශ්චිත තත්ත්වය හමුවේ, කලාපීය කටයුතුවලට ඇමෙරිකාව මැදිහත් වීම නවත්වන තෙක් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා තැබේ. කිසිදු නෞකාවකට හෝ යාත්‍රාවකට එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවසර නොලැබේ,” යැයි එම නිවේදනය වැඩිදුරටත් අවධාරණය කරයි.
පසුගිය සිකුරාදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, සටන් විරාමයක් පවතිද්දී පවා ඇමෙරිකාව ප්‍රහාර දියත් කළද, ඉරානය සමඟ පැවැත්වෙන සටන් විරාම සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි.
















