සමාජ ජාල හරහා ප්‍රචාරය වන හදිසි ණය මුදල් ලබා දෙන පණිවිඩ මේ වන විට බරපතළ සයිබර් තර්ජනයක් බවට පත්ව තිබේ. රුපියල් 5,000 සිට 150,000 දක්වා වූ මුදල්, කිසිදු ලියකියවිලි හෝ ඇපකරුවෙකු නොමැතිව ලබා දෙන බව පවසමින් මෙම වංචනිකයන් ජනතාව මුළා කරයි.
මෙම වංචනික ආයතන හරහා ණය ලබා ගැනීමට ලියකියවිලි අවශ්‍ය නොවන බව පවසා, එම ආයතන විසින් එවන “Link” එක Click කර තොරතුරු ඇතුලත් කිරීමට අයදුම්කරුවා වෙත දැනුම් දෙයි. එම Link එක Click කළ වහාම අදාළ පුද්ගලයා වංචනිකයන්ට ගොදුරු වේ.
ලින්ක් එක හරහා ඔවුන් එවන්නේ ‘Remote Administrative Tool’ හෙවත් RAT එකක් වන අතර, එය ජංගම දුරකථනයට ඇතුල් වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනී. අනතුරුව තම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේඛන, තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලු තොරතුරු වලට ප්‍රවිෂ්ට වීමට ඔවුන්ට හැකියාව ලැබේ. තවද “apk” යෙදවුමක් ස්ථාපනය වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකිය.
ණය මුදල ලබාදීමෙන් පසුව එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර, ආපසු ගෙවා ගත නොහැකි වූ විට දැඩි කොන්දේසි සහ පොලී අයකිරීම් සිදු කරයි. මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන් නොයෙකුත් අකටයුතුකම් වලට ලක් කෙරේ. පහසුවෙන් ණය ගන්නට ගොස් අවසානයේ තමන් සතු මුදල් සහ පෞද්ගලිකත්වය දෙකම අහිමි වී යාම මෙහි ප්‍රතිඵලයයි.
එනිසා හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත්, එම පණිවිඩ මගින් ලබාදෙන Link කිසිවිටෙකත් Download නොකරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) රටේ මහජනතාවට දැඩිව දැනුම් දෙයි. යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැඟේ නම්, වහාම 101 අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
















