ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් සහ ගෑස් නිෂ්පාදන සමාගමකට අයත් කාර්මික පාලන පද්ධති ඉලක්ක කරගනිමින් පර්යේෂණ පැවැත්වීම සඳහා ඉරාන සයිබර් ප්‍රහාරකයින් චීනයේ නිෂ්පාදිත DeepSeek නමැති කෘතිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් සිටින බවට ඇමෙරිකානු මව්බිම ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව මගින් විශේෂ සයිබර් ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ.
ABC News පුවත් සේවයේ ඩැනියෙල් නැමැති මාධ්‍යවේදියාගේ වාර්තා කිරීමට අනුව, ඉරාන හැකර්වරුන් පසුගිය අගෝස්තු මස මුල සිට ඇමෙරිකානු තෙල් ගබඩා ටැංකිවල ධාරිතාවන් සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙම AI පද්ධතිය භාවිත කර ඇති බව හෙළි වී ඇත. අදාළ පාලන පද්ධති හැක් කිරීම හරහා ඉන්ධන පොම්ප අක්‍රිය කිරීමට, උෂ්ණත්ව දර්ශක ව්‍යාජ ලෙස වෙනස් කර අනතුරු ඇඟවීම් වළක්වා ගැනීමට හෝ ටැංකි හිස්ව තිබියදී පිරී ඇති ලෙස පෙන්වන පරිදි දත්ත වෙනස් කිරීමට ප්‍රහාරකයින්ට හැකියාව ලැබේ. මෙයින් ඉන්ධන බෙදාහැරීමේ ජාලයන් සම්පූර්ණයෙන්ම අඩපණ විය හැකි අතර, ටෙක්සාස් ඇතුළු ප්‍රධාන තෙල් ගබඩා සංකීර්ණයන් ඉලක්ක කරගනිමින් සිදුවිය හැකි මෙවැනි ප්‍රහාරයන් හමුවේ සිය පද්ධති ආරක්ෂිත කරගන්නා ලෙස DHS ආයතනය බලශක්ති සමාගම් වෙත උපදෙස් දී තිබේ.














