වත්මන් රජය ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නංවා ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, හෙක්ටයාර් දෙකක් සඳහා මීට පෙර රුපියල් 30,000ක් වූ පොහොර සහනාධාරය වත්මන් රජය යටතේ රුපියල් 60,000 දක්වා ඉහළ නංවා ඇති බවයි.
වී වගා කරන කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට සහනාධාර ලබාදීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී කන්න රැස්වීම්වල තීරණ අනුව එම ගොවීන්ට පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කරන බව පැවසීය. ස්වාභාවික ආපදාවලින් සිදුවන වගා හානි සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එකම ගොවියාගේ වගාවට වාර දහයක් හානි සිදුවී ඇත්නම් එම වාර දහය සඳහාම වන්දි ගෙවීමට රජය කටයුතු කළ බවයි.
පොළොන්නරුවේ පැවති විරෝධතාවලට සහභාගි වූ පිරිස් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ගොවිතැන සමග සම්බන්ධ බැවින් එවැනි පිරිස් ගොවීන් නොවන බවට ඉදිරිපත් කරන තර්ක පිළිගත නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.














