ඊශ්‍රායල – අමෙරිකා ප්‍රහාරයකින් මියගිය තම රටේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනීම ඉරාන රජයේ ප්‍රධානතම යුතුකම වී ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසයි. මෙම ඝාතනය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිදු කළ දරුණු අපරාධයක් වන බැවින්, ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විටත් සූදානම් කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.
වසර 36කට අධික කාලයක් ඉරානයේ උත්තරීතර නායකත්වය හෙබවූ 86 හැවිරිදි අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූයේ ටෙහෙරාන් නුවර පිහිටි ඔහුගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකිනි. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු සහ ඉරාන ආරක්ෂක අංශවල ඉහළ පෙළේ ප්‍රධානීන් රැසක්ද මියගිය අතර, ඉරානය චෝදනා කරන්නේ මෙය අමෙරිකානු බුද්ධි තොරතුරු ආධාර ඇතිව ඊශ්‍රායලය විසින් සිදුකළ “රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදී ක්‍රියාවක්” බවයි. කමේනිගේ මරණයෙන් පසු ඔහුගේ පුත් අයතුල්ලා මොජ්තබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කරගෙන ඇති අතර, මෙම ඝාතනයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වී තිබේ.
















