ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදනය වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ පිරිමි පුද්ගලයන් අතර සිදුවන සමලිංගික සබඳතා (MSM – Men who have Sex with Men) ඉහළ යාම මෙම අවදානම ශීඝ්‍රයෙන් වැඩි වීමට ප්‍රධානතම හේතුවක් වී ඇති බවයි.
විශේෂයෙන්ම 2023, 2024 සහ 2025 යන වසරවල මෑතකාලීන දත්ත දෙස බැලීමේදී වාර්ෂිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. පිරිමි සහ ගැහැණු පාර්ශවයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ අනුපාතය සැසඳීමේදී, පිරිමින් අතර ආසාදිතයන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ අගයක පවතී. දිස්ත්‍රික් මට්ටමින් ගත් කල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පිරිමි පුද්ගලයන් අතර වැඩි වශයෙන් HIV ආසාදිතයන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම දිස්ත්‍රික්කවල අධික ජනගහනයක් මෙන්ම රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා නිතර සංක්‍රමණය වන පිරිස් ජීවත් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටී.
















