ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින ගැටුම් නිමා කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලදී ඇමරිකාව අවංක පාර්ශ්වයක් නොවන බවත්, තම ජාතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉරානය කිසිදු අයුරකින් එකඟතාවකට හෝ පසුබැසීමකට ලක් නොවන බවත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මෙන්ම එරට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බකර් කලීබාෆ් (Mohammad Baqer Qalibaf) ප්‍රකාශ කර තිබේ.
සෙනසුරාදා ටෙහෙරාන් නුවරදී පැවැති සාකච්ඡාවකදී පාකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් (Asim Munir) වෙත ඔහු මේ බව අවධාරණය කර ඇත. සති කිහිපයක යුද වාතාවරණයකින් පසු හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමනය අඩාල වී ගෝලීය බලශක්ති වෙළෙඳපොළ උඩුයටුරු වී ඇති පසුබිමක, දැනට පවතින තාවකාලික සටන් විරාමය ඔස්සේ ඇමරිකාව සහ ඉරානය අතර මතභේද අවම කිරීමට පාකිස්ථානය ප්‍රමුඛ කලාපීය මැදිහත්කරණයක නිරත වෙමින් සිටියි.
පාකිස්ථාන හමුදා ප්‍රධානියා සිය සංචාරය නිමා කර පිටත්ව යාමට පෙර ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) ද හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14කින් යුත් රාමුවක් සහිත ලේඛනයක් පිළිබඳව අවධානය යොමු වී තිබේ.යුධ පිටියේදී මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ඉරානය තම නීත්‍යානුකූල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ කලීබාෆ්, සටන් විරාම කාලය තුළ ඉරාන සන්නද්ධ බලකායන් සිය ශක්තිය තවදුරටත් වර්ධනය කරගෙන ඇති බවත්, ඇමරිකාව විසින් නැවතත් මෝඩ ලෙස යුද්ධය ආරම්භ කළහොත් එහි ප්‍රතිඵල වඩාත් දරුණු සහ තිත්ත වනු ඇති බවත් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.














