ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ ඊශ්රායලය සහ ලෙබනනයේ හේස්බුල්ලා සංවිධානය අතර පවතින සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ (අප්රේල් 23) නිවේදනය කළේය.
ධවල මන්දිරයේදී ඊශ්රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවැති දෙවන වටයේ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. දශක කිහිපයකට පසු දෙරට අතර පැවැත්වෙන පළමු සෘජු රාජ්ය තාන්ත්රික සාකච්ඡාව මෙය වන අතර, පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මූලික සටන් විරාමය මෙලෙස දීර්ඝ කර ඇත. හේස්බුල්ලා සංවිධානය මෙම සාකච්ඡාවලට දැඩි ලෙස විරුද්ධත්වය පළ කර ඇති පසුබිමක සාකච්ඡා සාර්ථකව නිම වූ බව ජනාධිපති ට්රම්ප් පවසයි.
හේස්බුල්ලා සංවිධානයෙන් ආරක්ෂා වීම සඳහා ලෙබනනයට අවශ්ය සහය ලබා දීමට අමෙරිකාව සූදානම් බව ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත. මෙම සටන් විරාමය ප්රකාශයට පත් වන්නේ හෝමුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) ආශ්රිතව අමෙරිකාව සහ ඉරානය අතර දැඩි යුදමය නොසන්සුන්තාවයක් පවතින මොහොතක වීම විශේෂත්වයකි.














