ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පලස්තීන සිරකරුවන් බැලීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට (ICRC) අවසර ලබා දෙන ලෙස තීන්දු කර තිබේ. ගාසා යුද්ධය ආරම්භයේදී පැනවූ මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සමකට අනුව මෙම තීන්දුව ලබා දී ඇත.
මෙම තහනම පැනවීම සඳහා ඊශ්‍රායල නීතියේ හෝ ඊශ්‍රායලයේ බැඳී පවතින ජාත්‍යන්තර මානුෂීය බැඳීම්වල ප්‍රමාණවත් පදනමක් නොමැති බව අධිකරණය සොයාගෙන ඇත. ඊශ්‍රායලයේ සිරගෙවල් සහ හමුදා රැඳවුම් මධ්‍යස්ථානවල සිටින පලස්තීන රැඳවියන් බැලීම සඳහා නැවත සිය කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව රතු කුරුස කමිටුවේ ප්‍රකාශකයෙකු වන පැට්‍රික් ග්‍රිෆිත්ස් මහතා පැවසීය. 2023 ඔක්තෝබර් 07 දින හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් දහස් ගණනක් සිරගත කර ඇති අතර, පලස්තීන අයිතිවාසිකම් කණ්ඩායමක් වන ‘අඩාමීර්’ (Addameer) ට අනුව, තවමත් පලස්තීනුවන් 9,000කට වැඩි පිරිසක් සිරගතව සිටිති. පලස්තීන සිරකරුවන්ට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර සිරගෙවල්වල කොන්දේසි වැඩිදියුණු කරන ලෙස නියෝග කළද, මාස කිහිපයකට පසුවත් සිරකරුවන් ආහාර හිඟය පිළිබඳ පැමිණිලි කර ඇත.
















