හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී ඉකුත් ජුනි 03 වන දින පස්වරුවේ රුපියල් කෝටි තුනහමාරක (රු. 35,000,000) මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කර තිබේ.
මෙම කොල්ලය ඉකුත් ජුනි 03 වන දින පස්වරු 02.50 ත් 02.55 ත් අතර කාලය තුළ සිදු වී ඇත. බැංකුවේ සහකාර කළමනාකරු විසින් වෙනත් සේවා මධ්‍යස්ථාන දෙකක් වෙත රැගෙන යාම සඳහා සකස් කළ රුපියල් මිලියන 35ක් අඩංගු මුදල් මලු, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ බැංකුවෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී බැංකු පරිශ්‍රය තුළදීම පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම කොල්ලය සිදු කර පලා ගොස් ඇත. කොල්ලකෑමට ලක්වූ මලු දෙකෙහි රුපියල් 5000 නෝට්ටු අඩංගු වූ අතර ඒවායේ අදාළ රාජ්‍ය බැංකුවේ ලාංඡනය සහිත ලා ක්‍රීම් පැහැති මලු ද්විත්වයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධියෙන් අනතුරුව, මුදල් මලු භාරව සිටි සහකාර කළමනාකරු පොලිස් භාරයට ගෙන ඇත. සහකාර කළමනාකරු සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකු සී.සී.ටී.වී (CCTV) කැමරාවල සටහන්ව තිබුණද, බැංකුවෙන් පිටවන දොර අසල ප්‍රදේශය ආවරණය වන පරිදි කැමරා සවිකර නොතිබීම විමර්ශනවලට බාධාවක් වී ඇති බව වාර්තා වේ.
















