ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති යෝජනාව නැවත සලකා බලන ලෙස යාපනය නීතිඥ සංගමය (BAJ) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට ප්‍රතිපත්තියක් ලෙස තමන් විරුද්ධ නොමැති වුවද, එය මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන් ඇතුළු පහළ අධිකරණ විනිසුරුවරුන්ට ද එකසේ අදාළ වන පරිදි සමස්ත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ඔස්සේ සිදුකළ යුතු බවයි. එසේ නොමැතිව ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට පමණක් තනි තනි සංශෝධන මඟින් වරප්‍රසාද ලබාදීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ විශ්වාසය පළුදු විය හැකි බවත්, ඉදිරියේදී ගෙන ඒමට නියමිත සම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින්ම මෙය සිදුකිරීම සුදුසු බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.














