ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අභිනව Prime Sports Hub ක්‍රීඩා මධ්‍යස්ථානය මාලබේ, තලාහේන ප්‍රදේශයේදී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය තුළ, රටේ ප්‍රථම වරට උසස් තත්ත්වයේ ඇක්‍රිලික් බිමක් සහිත ගෘහස්ථ පික්ල්බෝල් ක්‍රීඩා පිටියක් සහ නවීන ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් එකම වහලක් යටතේ ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි.
මෙම ක්‍රීඩා මධ්‍යස්ථානය සඳහා යොදාගෙන ඇති බිම් ආවරණ තාක්ෂණය යුරෝපීය පික්ල්බෝල් ශූරතා ඇතුළු ජාත්‍යන්තර තරඟාවලි සඳහා දායක වන ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු විසින් සපයනු ලැබ ඇත. ආරම්භක ක්‍රීඩකයන්ගේ සිට වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් දක්වා සියලු දෙනාටම ගැලපෙන පරිසරයක් මෙහි සකසා ඇති අතර, කණ්ඩායම් පුහුණු සැසි, පාසල් සහ ආයතනික වෙන්කිරීම් මෙන්ම තරඟාවලි සංවිධානය කිරීමට ද අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් එකට එක්වන සක්‍රීය ක්‍රීඩා ප්‍රජාවක් ගොඩනැගීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව මධ්‍යස්ථානයේ නියෝජිතයෝ පවසති. සියලුම පුද්ගලයන්, පාසල්, විශ්වවිද්‍යාල සහ ආයතනික කණ්ඩායම් සඳහා විවෘතව පවතින මෙම නව පහසුකම හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පික්ල්බෝල් සහ ක්‍රිකට් ක්‍රීඩා සංස්කෘතිය තවදුරටත් පුළුල් වනු ඇතැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අපේක්ෂා කරති.














