දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කිරීමේ අරමුණින්, ආපදා අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රජා පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 445ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.33) ආධාරයක් ලබා දීමට ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය අත්සන් තැබීම ජපාන තානාපති කාර්යාලයේදී සිදුවූ අතර, එය “දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්හි සහභාගිත්ව ප්‍රවේශයක් හරහා ආපදා අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ප්‍රජා පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය” ලෙස නම් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම, හදිසි පාරිසරික අවදානම් සඳහා විසඳුම් ලබා දීම සහ පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ශක්තිමත් කිරීමයි.
2025 වසරේ අගභාගයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයන් මිලියන 1.7ක් පමණ පීඩාවට පත්වූ අතර, මෙම ව්‍යාපෘතිය මගින් මානුෂීය සහන අවශ්‍යතා බහුලව පවතින මධ්‍යම පළාත ඇතුළු ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒකාබද්ධ ප්‍රවේශයක් ලෙස, පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ භාවිත කරමින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන, ළමා සුරැකුම් වැනි අත්‍යවශ්‍ය සේවා සපයන බහුකාර්ය ප්‍රජා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදුවේ.
මෙම ව්‍යාපෘතිය හරහා පුද්ගලයන් 228,500කට සෘජු ප්‍රතිලාභ ද, තවත් 700,000කට වැඩි පිරිසකට වක්‍ර ප්‍රතිලාභ ද ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියො ඉසොමතා මහතා, UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් තැබූහ.
















