ජපාන තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව අඛණ්ඩව පස්වන වරටත් සංවිධානය කළ ‘බොන් ඔදොරි’ (Bon Odori) සංස්කෘතික සැමරුම් උත්සවය පසුගියදා (11) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට දෙරටේ රාජ්‍ය නිලධාරීන්, තරුණ තරුණියන් සහ ජපන් සංස්කෘතියට ලැදි විශාල පිරිසක් එක්ව සිටියහ.
සාම්ප්‍රදායික ජපන් පහන් ආලෝකයෙන්, වර්ණවත් සැරසිලිවලින් සහ ජපන් සංගීතයෙන් සැරසුණු එම පරිශ්‍රය එදින සැබවින්ම කුඩා ජපානයක් බඳු විය. ශ්‍රී ලාංකේය සහ ජපන් සංස්කෘතික අංග එකම වේදිකාවක සුසංයෝගයෙන් ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් විය. විශේෂයෙන්ම ‘නොදොජිමන් 2026’ ජපන් ගීත ගායනා තරගයේ ජයග්‍රාහකයන්ගේ සජීවී ගායන ඉදිරිපත් කිරීම් උත්සවයට නව අත්දැකීමක් එක් කළේය.
ජපානයේ පූර්වජයන් සිහිපත් කිරීම, ගෞරවය පළ කිරීම සහ පවුලේ හා සමාජයේ එකමුතුකම ශක්තිමත් කිරීම අරමුණු කරගත් බොන් ඔදොරි උත්සවයේ මූලික දර්ශනය ශ්‍රී ලාංකේය සංස්කෘතික වටිනාකම් සමඟද සමීප සබඳතාවක් දක්වයි. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පාලන මනුල චමල් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන්, ජාත්‍යන්තර තරුණ සම්බන්ධතා හා යෞවන තිළිණ අංශය විසින් මෙහි කටයුතු සංවිධානය කරන ලදී.
මෙම උත්සවය හුදු සංස්කෘතික සැමරුමකට පමණක් සීමා නොවී, දෙරටේ තරුණ පරපුර අතර මිත්‍රත්වය, අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කරන සජීවී සංස්කෘතික පාලමක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.














