මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 6000ක මුදලක් වෙන් කර ඇත. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, දිවයින පුරා ගබඩා 148ක් වී මිලදී ගැනීම සඳහා සූදානම් කර ඇති බවයි.
මෙවර යල කන්නයේ වී සඳහා නියම කර ඇති ස්ථාවර මිල ගණන් අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට තීරණය කර ඇත.
මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට නියමිත අතර, එහි මුල් අදියර ලෙස අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීම ඊයේ (13) අම්පාර උහන පාලම් කඳවුර වී ගබඩාවේදී ආරම්භ කෙරිණි. අස්වනු නෙළන කාලවකවානුව අනුව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් කලාපවල ද ගබඩා විවෘත කර වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර ඇත.
පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ නම්, අමතර ගබඩා පහසුකම් ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශය හෝ වෙනත් ආයතන සමඟ සාකච්ඡා කර ඇති බවත්, මෙම වැඩපිළිවෙළ යල කන්නය අවසන් වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















