ඉරානය සමඟ ඇති කර ගැනීමට නියමිත නව එකඟතාවන් යටතේ ඇමරිකාව විසින් විශාල මුදලක් ලබා දෙන බවට පැතිර යන වාර්තා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මහතා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ කිසිදු තත්ත්වයක් යටතේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉරානයට එකදු සතයක්වත් නොලැබෙන බවයි. පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය මඟින් උපුටා දක්වමින් තිබූ ඩොලර් බිලියන 300ක සහ බිලියන 24ක මූල්‍ය අගයන් දැනටමත් ලබා දීමට එකඟ වූ මුදල් නොවන අතර, ඒවා තනිකරම කොන්දේසි සහිත යෝජනා පමණක් බව උප ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඔහුට අනුව, ඉරානය සිය හැසිරීම් මුළුමනින්ම වෙනස් කර ගිවිසුමේ කොන්දේසිවලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන අතර, එරට මිලිටරි සහ න්‍යාෂ්ටික වැඩසටහන් අඛණ්ඩව අඩපණ කර තැබීමට ඇමරිකාව පියවර ගනු ඇත. නමුත් ඉරානය එම කොන්දේසි ඉටු කළහොත් පමණක් ඔවුන්ට කලාපය සමඟ පරිවර්තනීය සබඳතාවක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත්, මෙම සමස්ත ක්‍රියාවලියම ඇමරිකාවට සියයට සියයක් වාසිසහගත (Win-Win) තත්ත්වයක් බවත් උප ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.















