ඉරානය සමඟ ඇති කර ගැනීමට නියමිත නව එකඟතාවන්ට එකඟ විය නොහැකි නම්, ඇමරිකානු ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී නැවතත් ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කරයි. ප්‍රංශයේ පැවැත්වෙන ‘G7’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මධ්‍යම පෙරදිග කලාපීය ගැටුම් නිමා කිරීම අරමුණු කරගනිමින් ජිනීවා නුවරදී අත්සන් කිරීමට නියමිත යෝජිත ගිවිසුම තවමත් අවසන් තීරණයක් නොවන බවයි. ඉරානය නිසි ලෙස හැසිරෙන්නේ නැතිනම් කලාපයේ කේන්ද්‍රස්ථාන ඉලක්ක කරමින් වහාම ප්‍රහාර දියත් කරන බවට ද ට්‍රම්ප් මහතා මෙහිදී දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ වීමට නියමිත අතර, ටෙහෙරාන්හි න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ ඉදිරි සාකච්ඡා සඳහා වන මූලික රාමුව ද මින් සකස් කෙරේ. මේ අතර, පසුගිය මාස දෙකක කාලය තුළ පළමු වතාවට ඉරාන තෙල් නැව් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා තිබූ ඇමරිකානු නාවික අවහිරතා මඟහරිමින් යාත්‍රා කර ඇති අතර, එය දෙපාර්ශවය අතර යම් සාධනීය ප්‍රගතියක් පෙන්නුම් කරන සලකුණක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති. කෙසේ වෙතත්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුමේ තවදුරටත් විසඳාගත යුතු කරුණු රාශියක් ඇති නමුත්, ඉදිරි සාකච්ඡාවලදී සියලු තීරණාත්මක බලතල පවතින්නේ ඇමරිකාව සතුව බවයි.















