විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහොමඩ් නමැත්තා ජූලි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද (25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු විදේශවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ‘ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර්’ (TT) ක්‍රමවේදය ඔස්සේ කොළඹ කොටුවේ පිහිටි ‘ඒ.වයි ඉන්වෙස්ට්මන්ට්’ නමැති ආයතනයක් හරහා මෙම මුදල් අමෙරිකානු ඩොලර් ලෙස විදේශගත කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් විදේශගත කළ ද, ඒ වෙනුවෙන් මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ද සැකකරුගේ නමින් පවතින බැංකු ගිණුම්වලට බැර කර ඇති බව රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදු කළ ද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය. මෙම මුදල් උපයාගත් ආකාරය සහ මුදල් යොමු කළ අරමුණු සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
















