ශ්‍රී ලංකාවේ කලාපීය කාර්මීකරණ ගමනේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, ජේ ජේ ටෙක්ස්ටයිල් ලංකා (පෞද්ගලික) සමාගම එරාවුර් පත්තුවෙල පුන්නකුඩා ආයෝජන මණ්ඩල (BOI) රෙදිපිළි නිෂ්පාදන කලාපයේ සිය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
නැගෙනහිර පළාතේ රෙදිපිළි අංශයේ මෑතකදී සිදුකළ විශාලතම ආයෝජනය වන මෙම නවීනතම කම්හල, පරිසර හිතකාමී තාක්ෂණය මත පදනම් වූ උසස් තත්ත්වයේ ගෙතුම්, සායම් සහ නිම කිරීමේ මෙහෙයුම් සඳහා සකසා ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ 350කට අධික පිරිසකට සෘජු රැකියා අවස්ථා උදා කරමින් ප්‍රාදේශීය ආර්ථිකය නංවාලීමට දායක වී ඇති මෙම ආයතනය, ජලයෙන් 70%ක් ප්‍රතිචක්‍රීකරණය කිරීම ඇතුළු හරිත තාක්ෂණ විධිවිධාන රැසක් ක්‍රියාත්මක කරයි. මව් සමාගම වන ජේ ජේ මිල්ස් ඉන්දියා හි දශක හතරක අත්දැකීම් සමඟින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තිරසාර ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට මහත් රුකුලකි.














