ශ්‍රී ලංකාවේ BYD සහ Denza බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම, සිය පාරිභෝගිකයින් සඳහා දිවයින පුරා පවතින විදුලි වාහන ආරෝපණ යටිතල පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් පසුගිය ජුනි 26 වැනි දින ‘Green EV’ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි.
මෙම හවුල්කාරිත්වය හරහා BYD සහ Denza හිමිකරුවන්ට Green EV සතු දිවයින පුරා විසිරී ඇති 100කට අධික DC වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන සහ 70කට අධික AC ආරෝපණ මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය හිමි වේ. මෙය දිස්ත්‍රික්ක 20ක් සහ පළාත් 9ම ආවරණය වන පරිදි 40kW, 60kW සහ 120kW යන ධාරිතාවන්ගෙන් යුත් ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකින් සමන්විත වේ.
Green EV විසින් සිය සෑම ආරෝපණ මධ්‍යස්ථානයක් සඳහාම SLIC ආයතනය සමඟ එක්ව රුපියල් මිලියන 100ක විස්තීර්ණ රක්ෂණාවරණයක් ලබා දී ඇති අතර, එය පරිශීලකයින්ට උපරිම ආරක්ෂාවක් සහ මනසේ සහනයක් ලබා දෙයි. විදුලි වාහන භාවිතා කරන්නන් අතර පවතින දුර ප්‍රමාණය පිළිබඳ ගැටලුව තුරන් කිරීම සහ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් ආරෝපණය කර ගැනීමේ හැකියාව ඇති කිරීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි.
JKCG Auto සමාගම මීට පෙරද දිවයින පුරා 100කට අධික DC වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, සෑම පාරිභෝගිකයෙකුටම 7kW නිවසේ ආරෝපණ උපකරණයක් ලබා දීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි වාහන ලියාපදිංචි කිරීම්වලින් 70%ක පමණ ප්‍රමාණයකට BYD හිමිකම් කියන අතර, මෙම නව හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන අනාගතය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
















