2010 වසරේදී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වූ දූෂණ චෝදනාවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය අභියාචනාධිකරණය විසින් නිල වශයෙන් බලරහිත කර තිබේ. ඒ අනුව, අදාළ නඩුව කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. විත්තිය මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් 2023 වසරේ මැයි මස 19 වන දින කොළඹ මහාධිකරණය විසින් අල්ලස් කොමිසම ගොනුකළ අධිචෝදනා පත්‍රය ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.














