සියදිවි නසාගැනීම් සහ ඒ ආශ්‍රිත සිදුවීම් වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරය රැකීම සහ වගකීම්සහගත වාර්තාකරණයක නිරත වීම පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බත්තරමුල්ලේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කළේ, සියදිවි නසාගැනීම් වැනි සංවේදී සිදුවීම්වල සියලු තොරතුරු වාර්තා කිරීම එම සිදුවීමට කරන සාධාරණයක් ලෙස සිතීම වැරදි බවයි. ඇතැම් තොරතුරු හෙළිකිරීම මගින් වින්දිතයාගේ පවුලේ සාමාජිකයන්ට ද බරපතළ හානියක් සිදුවන බව ඇය පෙන්වා දුන්නාය. ඉදිරියේදී ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ මාධ්‍යවේදීන් සඳහා වෘත්තීය වරලත් ආයතනයක් පිහිටුවීමට රජය කටයුතු කරන බව ද ඇය පැවසුවාය.
වගකීම්සහගත වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු ප්‍රධාන මාර්ගෝපදේශ කිහිපයක් මෙහිදී සාකච්ඡා විය. සියදිවි නසාගත් ආකාරය සවිස්තරාත්මකව වාර්තා කිරීමෙන් වැළකීම, සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප, වීඩියෝ හෝ අවසන් ලිපි ප්‍රසිද්ධ නොකිරීම සහ මෙවැනි පුවත් මුල් පිටුවේ හෝ ප්‍රධාන පුවත් ලෙස ප්‍රචාරය නොකිරීම පිළිබඳව අවධානය යොමු විය.
එසේම, සියදිවි නසාගත් පුද්ගලයා වීරයෙකු ලෙස හුවා නොදැක්වීම, පුවත අවසානයේ මානසික සහය ලබාගත හැකි 1926 වැනි උපකාරක සේවා අංක පැහැදිලිව සඳහන් කිරීම, හැඟීම් අවුස්සන වචන වෙනුවට සරල සහ සංවේදී භාෂාවක් භාවිත කිරීම සහ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය හා මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම වැඩමුළුවේදී මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් විසින් දේශන සහ ප්‍රායෝගික මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු රැසක් සහභාගි වූහ.
















