බැංකු සේවකයන් වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රැසකට ස්ථිර විසඳුම් ලබාදීමට හැකි වූ බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. මුදල් අමාත්‍යාංශයේදී ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී විශේෂයෙන්ම රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලු සහ වෛද්‍ය ආධාර සම්බන්ධයෙන් පවතින බාධාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.
මෙම හමුවේදී බැංකු සේවකයන් ඉදිරිපත් කළ වෘත්තීය ගැටලුවලට පිළියම් ලෙස කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් මාලාවක් අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී. බැංකු පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නම් සේවක සුබසාධනය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා බැංකු හා මූල්‍ය සංසදයේ කැඳවුම්කරු සමීර අල්විස් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
















