නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ, ඉහළ වර්ගයේ වටිනා ඉන්දීය පරවියන් තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාට ලද තොරතුරක් මත, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් කල්පිටිය වන්නිමුන්දලම වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පරවියන් ප්‍රවාහනය කිරීමට යොදාගත් ධීවර යාත්‍රාව, එන්ජිම සහ වෙරළ ආසන්නයේ නවතා තිබූ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිදුරු සහිත ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි 6 ක අසුරා තිබූ මෙම පරවියන් ජාතික සහ ජාත්‍යන්තර තරඟ සඳහා ඉදිරිපත් වන, පාදවල මුදු සහිත ඉතා වටිනා පරවි විශේෂයක් වන අතර, දින තුනකට වැඩි මුහුදු ගමනක් නිසා ඒවා දැඩි ලෙස හෙම්බත්ව දුර්වල වී තිබී ඇත. පරවි ව්‍යාපාරිකයන් පවසන ආකාරයට මින් එක් පරවියෙකුගේ වාණිජ වටිනාකම රුපියල් 50,000 කට අධික වේ.














