දැඩි සිත් අමනාපයකින් නිවසින් පිටව ගිය බව කියන ගුරුවරියකගේ මළ සිරුර කළුතර දකුණ වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි නදීෂානි තරංගිකා අමරනායක නැමැති එක්දරු මවකි. ඇය ගුරුවරියක ලෙස සේවය කළ අතර ඇයගේ සැමියා ද නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කරයි.
පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් 29 වැනිදා පැවති මංගල සාදයකට සහභාගී වීමට සැමියාට නොහැකි වීම සම්බන්ධයෙන් දෙදෙනා අතර අමනාපකමක් හටගෙන ඇත. පසුව 30 වැනිදා සැමියා කොළඹ පැවති උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් ඇති වූ විරුද්ධත්වය මත ඇය නිවසින් පිටව ගොස් තිබේ. ඇය ත්‍රිරෝද රථයකින් නිවසින් පිටව යන අයුරු ඇයගේ පුත්‍රයා දැක ඇත.
ඉකුත් 1 වැනිදා කළුතර දකුණු වෙරළ තීරයට ගොඩගසා තිබූ මෙම කාන්තා මළ සිරුර, පසුව කළුතර නාගොඩ රෝහලේදී ඇයගේ සැමියා සහ මව විසින් හඳුනාගනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙය දැනට විමර්ශනය වෙමින් පවතින මරණයක් ලෙස හදිසි මරණ පරීක්ෂකවරිය තීන්දු කර ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.
මියගිය ගුරුවරියගේ අවසන් කටයුතු ඊයේ (03) වීදියගොඩ, කනත්තගොඩ පොදු සුසාන භූමියේදී සිදු කර තිබේ.














