බෝබුවල ප්‍රදේශයේදී 2006 වසරේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සහ පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ චූදිතයින් දෙදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් අද (24) මරණ දඬුවම නියම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ බෝබුවල, චිත්තවල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි අසංක ප්‍රදීප් කුමාර සහ කළුතරගේ අශෝක යන අයයි. 2006 මැයි 24 වන දින යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සුරංග ඉන්ද්‍රජිත් දිසානායක (26) නැමැත්තා මඟ රැක සිටි සැකකරුවන් විසින් කඩු පහර දී ඝාතනය කර තිබූ අතර, ඔහු සමඟ ගමන් කළ මිතුරාට ද බරපතල තුවාල සිදු කර තිබුණි. මෙම ඝාතනය සිදුව ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙනි.
අධිකරණයෙන් නිකුත් කළ විශේෂ නියෝග යටතේ, විදේශගතව සිටින චූදිතයා මෙරට ඕනෑම ගුවන්තොටුපළකින් පැමිණීමේදී හෝ පිටවීමේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර අධිකාරිවරයා වෙත භාර දෙන ලෙස ආගමන විගමන පාලකවරයාට අධිකරණය නියෝග කර ඇත. තවද, අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන දඬුවම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ද අධිකරණය නියෝග නිකුත් කර තිබේ.
වසර 20ක පමණ කාලයක් පුරා විභාග වූ මෙම නඩුවෙන් පසු මෙසේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
















