ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද, අනෙකුත් අමතර අමුද්‍රව්‍යවල මිලෙහි විශාල ඉහළ යාමක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පවසයි. වර්තමාන ආර්ථික තත්ත්වය රජය ඉතා හොඳින් කළමනාකරණය කරමින් සිටින බව ඔහු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.මන්ත්‍රීවරයා දැක්වූ කරුණු අනුව, පෙබරවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 98ක් වැය වුවද, අප්‍රේල් මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ ගොස් ඇත. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ලීටරයක සැබෑ මිල රුපියල් 740ක් වුවත්, රජය එය රුපියල් 424ක සීමාවක පවත්වාගෙන යයි. ජනතාව මත බර නොපටවා ඉන්ධන මිල කළමනාකරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 20,000ක් පමණ වැය කර ඇත. ඉන්ධන හැරුණු විට අනෙකුත් අමුද්‍රව්‍ය මිල වැඩි නොවීම හේතුවෙන් දැනට බස් ගාස්තු වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් නොමැති බව ඔහු සඳහන් කළේය. බස් සංගම් සමඟ සාකච්ඡා කර ජනතාවට සහ බස් හිමියන්ට පීඩාවක් නොවන පරිදි විසඳුම් ලබා දීමට රජය සූදානම් බව ඔහු පැවසීය. ලෝක වෙළඳපොළට අනුකූලව මිල ගණන් අඩු කිරීමට හැකි සෑම අවස්ථාවකදීම එම සහනය ජනතාවට ලබා දීමට රජය ස්ථාවරව සිටින බවත්, 2026 වසරේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
















