මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සහ දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ‘Kandy Breeze Night Fest’ නවීන රාත්‍රී වෙළඳපොළ සංස්කෘතික අංග රැසක් සමඟින් පසුගියදා සාර්ථකව ආරම්භ කෙරිණි. දේශීය ආහාරපාන, හස්ත කර්මාන්ත සහ සුළු පරිමාණ ව්‍යාපාරික නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් යටිනුවර වීදිය ආවරණය වන පරිදි පස්වරු 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, කලාපයේ ආර්ථික පුනර්ජීවනයට මෙන්ම සංචාරක ප්‍රවර්ධනයට සුවිශේෂී උත්තේජනයක් සපයයි.
දේශීය සංස්කෘතික අනන්‍යතාව ඉස්මතු කරමින් මධ්‍යම පළාත් සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තූන්ගේ මැදිහත්වීමෙන් සංවිධානය කරන ලද උඩරට, පහතරට සහ උතුරු පළාතේ සංස්කෘතික සංදර්ශන මෙන්ම අංගම්පොර අංග මෙහි ආකර්ෂණය දෙගුණ කිරීමට සමත්විය. විශේෂයෙන්ම, ලොව ප්‍රථම වරට පැවැත්වෙන සර්පයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වන ‘1st World Congress on Snakes – 2026’ සඳහා මහනුවරට පැමිණ සිටින විදේශීය විද්‍යාඥයන් සහ සංචාරකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වීම හරහා මෙම උත්සවයේ ජාත්‍යන්තර වැදගත්කම තවදුරටත් තහවුරු විය.
මෙවැනි ප්‍රජා කේන්ද්‍රීය සහ සංචාරක ආකර්ෂණීය වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මඟින් මහනුවර නගරයේ රාත්‍රී ආර්ථිකය ශක්තිමත් වන අතරම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපල අවස්ථා උදාකර ගැනීමට මඟ සැලසේ. ඉදිරියේදී මෙම සංචාරක ප්‍රවර්ධන ක්‍රමවේදය තවදුරටත් පුළුල් කරමින් කලාපීය ආර්ථිකයට නව ජවයක් එක් කිරීමට පළාත් පාලන සහ සංචාරක බලධාරීන් අපේක්ෂා කරන අතර, එය රටේ සමස්ත සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට ද ධනාත්මක බලපෑමක් වනු ඇත.














